ලෝකයේ වළක්වා ගත හැකි මරණවලට ප්‍රධානතම හේතුවක් වන දුම්කොළ භාවිතය මෙරටින් තුරන් කිරීම රජයේ ප්‍රධාන ඉලක්කයක් බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා අවධාරණය කරයි. ඔහු මේ බව කියා සිටියේ “ශ්‍රී ලංකාවේ දුම්කොළ භාවිතය හා දුම්පානය නැවැත්වීම වැඩි දියුණු කිරීමේ උපාය මාර්ග” පිළිබඳව කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවැති විශේෂ සාකච්ඡාවකට සහ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
සෞඛ්‍ය සම්පන්න ජාතියක් යනු ශක්තිමත් ආර්ථිකයක සහ සමෘද්ධිමත් අනාගතයක පදනම වන බැවින්, දුම්කොළ පරිභෝජනය අවම කිරීම හුදෙක් සෞඛ්‍ය අරමුණක් පමණක් නොව ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයක් ලෙස රජය පිළිගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වඩා රෝග ඇතිවීම වැළැක්වීම රජයේ ප්‍රතිපත්තිය බවත්, තරුණයින් ඉලක්ක කර ගනිමින් වක්‍ර අලෙවිකරණය හරහා පැමිණෙන නව ආකාරයේ නිකොටින් ඇබ්බැහිවීම් පිළිබඳව රජය දැඩි සුපරීක්ෂාකාරීත්වයකින් පසුවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ගෝලීය සෞඛ්‍ය පිළිබඳ “Respire” ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ජයවර්ධනපුර, පේරාදෙණිය, රජරට, වයඹ සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මෙහිදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රසන්න හේරත් මහතා විසින් විද්‍යාත්මක දුම්පාන නිවාරණ ක්‍රමවේදයක් හඳුන්වා දුන් අතර, නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ක්‍රිස් බුලන් මහතා සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ ප්‍රධාන දේශනය පවත්වන ලදී. මෙම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව්, මහාචාර්ය දියනාත් සමරසිංහ ඇතුළු වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල විද්වතුන් සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් පිරිසක් සහභාගී වූහ.














