අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා සිය ධුරය අවභාවිත කරමින් මහා පරිමාණ දූෂණ නඩු යටපත් කරන බවට විනිවිද පදනම විසින් බරපතළ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 111 වැනි වගන්තිය යටතේ ඉදිරිපත් කර ඇති මෙම පැමිණිල්ල මගින් රජයට රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුකළ පුද්ගලයන්ට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයාට චෝදනා එල්ල වේ. විශේෂයෙන්ම හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පැවති රුපියල් බිලියන 1.8ක මහජන මුදල් අවභාවිත කිරීමේ නඩුව වංචනික ලෙස ඉල්ලා අස්කර ගැනීම මෙහි ප්‍රධාන කරුණක් ලෙස පෙන්වා දී ඇත. විත්තිකාර පාර්ශවය එකඟතා ප්‍රතික්ෂේප කර තිබියදීත් අධ්‍යක්ෂ ජනරාල්වරයා අත්තනෝමතික ලෙස නඩුව ඉල්ලා අස්කර ගැනීම හරහා මහජන විශ්වාසය දැඩි ලෙස පළුදු කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
එලෙසම විශ්‍රාමිකයන්ගේ රක්ෂණ අරමුදලට අයත් රුපියල් මිලියන 113ක් අවභාවිත කිරීමේ සිද්ධිය සහ මන්ත්‍රීවරුන් 224 දෙනෙකු නීතිවිරෝධී ලෙස බදු සහන යටතේ වාහන ගෙන්වීමෙන් රජයට අහිමි කළ රුපියල් බිලියන 7ක ආදායම ලබා ගැනීමට ක්‍රියා නොකිරීම පිළිබඳව ද මෙමගින් කරුණු අනාවරණය කර ඇත. මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ බලපෑම් මත වත්මන් රජයේ ප්‍රබලයන් සම්බන්ධ විමර්ශන අත්හැර දමා ඇති බවත් එමගින් අධ්‍යක්ෂ ජනරාල්වරයා පක්ෂග්‍රාහීව කටයුතු කරන බවත් විනිවිද පදනම අවධාරණය කරයි. දූෂණ විරෝධී පනත සෑම පුද්ගලයෙකුටම සමාන ලෙස ක්‍රියාත්මක කිරීමට අධ්‍යක්ෂ ජනරාල්වරයා අපොහොසත් වී ඇති බැවින් ඔහු වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් මේ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් එම පදනම වැඩිදුරටත් ඉල්ලා සිටී.














