දිවයිනට බලපා ඇති පීඩන අවපාත තත්ත්වය හේතුවෙන් පවතින අධික වර්ෂාව සැලකිල්ලට ගනිමින්, දිස්ත්‍රික්ක 13ක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ මුල් අවධියේ අනතුරු ඇඟවීම් හෙට (17) පස්වරු 4.00 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ.
මේ අනුව බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, මොනරාගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල පිහිටි අවදානම් සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ. ඉදිරියටත් වැසි තත්ත්වය අපේක්ෂා කරන බැවින්, කඳුකර සහ බෑවුම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව ඉරිතැලීම්, පොළොව ගිලාබැසීම්, ගස් ඇලවීම් හෝ උල්පත් එකවර මතු වීම් වැනි නායයෑම් පූර්ව ලක්ෂණ පිළිබඳව දැඩි අවධානයෙන් හා සුපරීක්ෂාකාරීව පසුවිය යුතු බව ද එම සංවිධානය වැඩිදුරටත් දන්වා සිටියි.













