රජරට විශ්වවිද්‍යාලය තුළ පවතින නේවාසිකාගාර පහසුකම් පිළිබඳ බරපතළ ගැටලුවට බලධාරීන් මෙතෙක් කිසිදු ස්ථිර විසඳුමක් ලබා දී නොමැති බව රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දිමුතු ලක්ෂාන් මහතා ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය. පූර්ණ නේවාසික විශ්වවිද්‍යාලයක් ලෙස හැඳින්වුවද, එහි පවතින සැබෑ තත්ත්වය වෙනස් බව ශිෂ්‍ය සංගමය පෙන්වා දෙයි.
විශ්වවිද්‍යාලය තුළ මේ වන විට සිසුන් 8,000කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය ලැබුවත්, නේවාසිකාගාර පහසුකම් හිමිවන්නේ ඉන් අඩකට එනම් සිසුන් 4,000කට ආසන්න පිරිසකට පමණක් බව සභාපතිවරයා හෙළි කළේය. ඉතිරි සිසුන් 4,000කට නේවාසික පහසුකම් අහිමි වී ඇති අතර, මේ වෙනුවෙන් දිගින් දිගටම හඬ නැඟුවද පවතින සහ පසුගිය රජයන් ඊට නිසි විසඳුම් ලබා දී නැත. මෙම ගැටලුවට තාවකාලික විසඳුමක් ලෙස විශ්වවිද්‍යාලයට මීටර් 500ක් පමණ ආසන්නයෙන් පිහිටි රාජ්‍ය පරිපාලන නිල නිවාස සංකීර්ණය සිසුන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටියද, ඊට ප්‍රතිචාර ලෙස ශිෂ්‍ය නායකයන්ට නඩු පවරමින් මර්දනයක් දියත් කර ඇති බවට ද ඔහු චෝදනා කළේය.
මීට අමතරව, පසුගිය වසරට සාපේක්ෂව උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් රුපියල් මිලියන 1,600ක සහ පාසල් ක්ෂේත්‍රයෙන් රුපියල් මිලියන 500කට ආසන්න ප්‍රතිපාදන කප්පාදුවක් සිදුකර ඇති බව මහා ශිෂ්‍ය සංගමය පෙන්වා දෙයි. අයවැයෙන් අධ්‍යාපනය සඳහා 6%ක් වෙන් කරන බවට පොරොන්දු වුවද, මේ වන විට වෙන්කර ඇත්තේ 2.04%ක වැනි අවම ප්‍රතිශතයක් පමණක් බව ද එහිදී ප්‍රකාශ විය. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ (අන්තරය) වත්මන් භූමිකාව පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් දිමුතු ලක්ෂාන් මහතා, ‘අන්තරයට’ වසර 40ක ප්‍රෞඪ ඉතිහාසයක් ඇති බවත්, වත්මන් ආණ්ඩුවට පක්ෂපාතීව හෝ ආණ්ඩුවේ වුවමනාවන් මත කටයුතු කරන පිරිස් ‘අන්තරය’ ලෙස සැලකිය නොහැකි බවත් වැඩිදුරටත් කියා සිටියේය.














