ගෝලීය දේශපාලනික නොසන්සුන්තාවන් හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව ප්‍රධාන තෙල් දර්ශක දෙකම මැයි මස මුල් සතියෙන් පසුව වාර්තා වූ ඉහළම අගයන් දක්වා පැමිණ තිබේ.
ලෝක වෙළඳපොළේ වත්මන් තෙල් මිල ගණන් අනුව බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 1.44 කින් හෙවත් 1.32% කින් ඉහළ ගොස් ඩොලර් 110.70 ක් ලෙස සටහන් වන අතර, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 1.84 කින් හෙවත් 1.75% කින් ඉහළ ගොස් ඩොලර් 107.26 ක් ලෙස සටහන් වේ.
විදෙස් වාර්තාවලට අනුව, ඉරානයට එරෙහි එක්සත් ජනපද – ඊශ්‍රායල යුද්ධය අවසන් කිරීමේ උත්සාහයන් ඇණහිට තිබීම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාරයක් එල්ල වීම මෙම මිල ඉහළ යෑමට සෘජුවම බලපා ඇත. මීට අමතරව, හෝමුස් සමුද්‍ර සන්ධිය අවට සිදුවන නැව්වලට ප්‍රහාර එල්ල කිරීම් සහ නැව් අත්අඩංගුවට ගැනීම් අවසන් කෙරෙන සාම ගිවිසුමක් පිළිබඳ බලාපොරොත්තු බිඳ වැටීම හේතුවෙන් පසුගිය සතියේදී ද මෙම තෙල් මිල දර්ශක දෙකම 7% කට වඩා ඉහළ ගොස් තිබුණි.
















