බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සිය ධුරයෙන් හදිසියේම ඉල්ලා අස්වීමත් සමඟ, ඉදිරි දිනවලදී තවත් පළාත් ආණ්ඩුකාරවරුන් කිහිපදෙනෙකුම සිය ධුරවලින් ඉල්ලා අස්වීමට සූදානමකින් පසුවන බව ලන්ඩනයේ වෙසෙන ප්‍රමුඛ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා ප්‍රකාශ කරයි. බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟ සිය නිල සමාජ ජාල ගිණුමේ විශේෂ සටහනක් තබමින් ලංකා සී නිවුස් (Lanka C News) පුවත් සේවය හරහා ඔහු මේ බව අනාවරණය කර තිබේ.
වත්මන් රජය විසින් ආණ්ඩුකාර ධුර සඳහා දේශපාලන පක්ෂවලට සෘජුව සම්බන්ධ නොමැති බුද්ධිමතුන් සහ ස්වාධීන පුද්ගලයන් පත් කරනු ලැබුවේ තමන් පාක්ෂිකයන්ට වරප්‍රසාද තනතුරු ලබා නොදෙන බව රටට පෙන්වීමට වුවද, එහි සැබෑ අභ්‍යන්තර දේශපාලන තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස් එකක් බව කුරුකුලසූරිය මහතා පෙන්වා දෙයි. ඔහු වැඩිදුරටත් චෝදනා කරන්නේ, වත්මන් පළාත් ආණ්ඩුකාරවරුන් ස්වාධීන වුවද ඔවුන් යටතේ පරිපාලන කටයුතු සඳහා සේවය කරන ලේකම්වරුන් බහුතරයක් ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ප්‍රබල දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් පත් කිරීමට රජය පියවර ගෙන ඇති බවයි. මෙම දේශපාලන ලේකම්වරුන් හරහා ස්වාධීන ආණ්ඩුකාරවරුන්ගේ පරිපාලන තීරණ පාලනය කිරීමට සහ ඔවුන්ව තමන්ට අවශ්‍ය පරිදි හැසිරවීමට රජයේ ඇතැම් පාර්ශවයන් උත්සාහ කිරීම හේතුවෙන් ආණ්ඩුකාරවරුන් මේ වන විට දැඩි කලකිරීමට පත්ව සිටින බවත්, ඉදිරියේදී සිදුවීමට නියමිත ආණ්ඩුකාර ඉල්ලා අස්වීම් රැල්ලට ප්‍රධානතම හේතුව මෙම අභ්‍යන්තර බලපෑම් බවත් උවිඳු කුරුකුලසූරිය මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.














