ඓතිහාසික යාපහුව පුරාවිද්‍යා භූමිය සංරක්ෂණය කරමින්, එය නවීන දෙස් විදෙස් සංචාරක ආකර්ෂණ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ “යාපහුව සංස්කෘතික සංචරණ උරුම කළමනාකරණ ව්‍යාපෘතිය” නිල වශයෙන් ආරම්භ කර තිබේ. මෙම සුවිශේෂී සමාරම්භක උත්සවය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 16 වනදා පැවැත්වුණු අතර, ඒ සඳහා කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සහ වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය යන මහත්වරු ද සහභාගී වූහ. යාපහුව රජමහා විහාරාධිපති නුගලියද්දේ සමිතානන්ද නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් රුපියල් බිලියන 2කට අධික පූර්ණ මූල්‍ය ප්‍රතිපාදන සපයනු ලබයි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අවධාරණය කළේ, වත්මන් රජයේ නව දේශපාලන සංස්කෘතිය සහ දූරදර්ශී රාජ්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් 2025 වසරේදී රුපියල් ට්‍රිලියන 1.2ක මුදලක් රාජ්‍ය භාණ්ඩාගාරය තුළ ඉතිරි කරගැනීමට හැකි වූ බවත්, මෙම ව්‍යාපෘතිය සඳහා වැය කරන්නේ ණයට ගත් හෝ අලුතින් මුද්‍රණය කළ මුදල් නොව එලෙස ඉතිරි කරගත් මහජන බදු මුදල් බවත්ය. වසර 7ක සැලැස්මකට අනුව අදියර දෙකකින් ක්‍රියාත්මක වන මෙමඟින් අක්කර 27ක යාපහුව පුරාවිද්‍යා භූමියේ ස්මාරක සංරක්ෂණය, සංචාරක මාර්ග සහ යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම තොරතුරු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම ඇතුළු පුළුල් සංවර්ධන කටයුතු රැසක් සිදු කිරීමට නියමිතය. මෙම අවස්ථාවට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් වික්‍රමසිංහ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ මහතා ඇතුළු උසස් රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.














