නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිරි ගොවීන් දේශීය කිරි කර්මාන්තය ඉහළ නැංවීමට සහ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් දිනකට කිරි ලීටර් ලක්ෂ 2ක ධාරිතාවක් ලබා දීමට සූදානම් බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති මංජුල සුරවීරආරච්චි මහතා ප්‍රකාශ කරයි. මන්ත්‍රීවරයා ඉකුත් (17) දින මේ බව කියා සිටියේ බගවන්තලාව ප්‍රදේශයේ කිරි ගොවීන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මිල්කෝ (Milco) ආයතනය මඟින් බගවන්තලාව නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක සංවිධානය කර තිබූ විශේෂ හමුවකට එක්වෙමිනි. ආනයනික කිරිපිටි වෙනුවෙන් මෙරටින් විදේශයන්ට ඇදී යන විශාල ඩොලර් ප්‍රමාණය අවම කිරීම සඳහා වත්මන් රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට නුවරඑළියේ කිරි ගොවියාගෙන් උපරිම දායකත්වය ලැබෙන බවත්, පවතින අවම පහසුකම් යටතේ වුවද ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහි මිල්කෝ ආයතනයේ දැඩි අවධානය යොමු වී ඇති බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. පසුගිය රජයන් විසින් මිල්කෝ ආයතනය ඉන්දියාවේ අදානි (Adani) සමාගමට විකිනීමට සැලසුම් කර තිබුණ ද, වත්මන් රජය මඟින් එය වළක්වා ආයතනය මේ වන විට ලාභ ලබන තත්ත්වයට පත් කර ඇති බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය. මෙම සාකච්ඡාව සඳහා මිල්කෝ සමාගමේ නියෝජ්‍ය සභාපති වෛද්‍ය ගමගේ, කිරි සැපයුම් සහ සංවර්ධන කළමනාකාර අඹේකෝන්, පළාත් කළමනාකාර හපුහින්න සහ සහකාර පළාත් කළමනාකාර දසනායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.














