මහනුවර ප්‍රධාන පෙළේ වෛද්‍ය මධ්‍යස්ථානයක පෞද්ගලික වෛද්‍ය සේවයේ නිරත විශේෂඥ වෛද්‍යවරයෙකු බියගන්වා රුපියල් ලක්ෂ 60කට අධික කප්පම් මුදලක් ලබාගත් බව කියන, එම වෛද්‍ය මධ්‍යස්ථානයේම සේවය කළ හෙද නිලධාරිනියක සහ ඇයගේ ස්වාමිපුරුෂයා තෙල්දෙණිය කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම විශේෂඥ වෛද්‍යවරයා සහ 24 හැවිරිදි අදාළ හෙද නිලධාරිනිය අතර කලක් පැවති සමීප සබඳතාවයක රහසිගත ඡායාරූප තමන් සන්තකයේ ඇති බව පවසමින්, හෙද නිලධාරිනිය ඇයගේ සැමියා ද සමඟ එක්ව වෛද්‍යවරයාව දිගින් දිගටම බියගන්වමින් මෙලෙස විටින් විට මහා පරිමාණයෙන් කප්පම් මුදල් ලබාගෙන ඇති බවයි.
අදාළ හෙද නිලධාරිනිය මීට පෙර සේවයෙන් ඉවත් වී විවාහ වීමෙන් පසු මැදමහනුවර ප්‍රදේශයේ පදිංචි වී ඇති අතර, ඉන් අනතුරුව ද ඇය සිය සැමියා සමඟ එක්ව මෙම බ්ලැක්මේල් කිරීම (Blackmail) ජාවාරමක් ලෙස කරගෙන ගොස් ඇත. දරාගත නොහැකි වූ කප්පම් ඉල්ලීම් හමුවේ අවසානයේ විශේෂඥ වෛද්‍යවරයා විසින් තෙල්දෙණිය කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය වෙත නිල වශයෙන් සිදුකළ පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් විසින් මෙම සැකකාර අඹුසැමි යුවළ උපක්‍රමශීලීව අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














