කැබිනට් අනුමැතිය මත ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ආනයනය කළ රුපියල් කෝටි 34ක් වටිනා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 2,290ක තොගයක් මාස 5ක් තිස්සේ වරායෙන් නිදහස් කර නොගෙන, ඊට වඩා කිලෝවකට රුපියල් 3ක් වැඩිපුර ගෙවා යළි බඩඉරිඟු ගෙන්වීමට අනුමැතිය දීමෙන් රජයට විශාල මූල්‍ය අලාභයක් සිදුකර ඇති බවට ඇතැම් නිලධාරීන්ට බරපතළ චෝදනා එල්ල වී තිබේ. ටෙන්ඩර් පටිපාටියට අනුව ගෙන්වූ පළමු මෙට්‍රික් ටොන් 1,200ක තොගය ප්‍රමිතිගත බව තහවුරු වී වරායෙන් නිදහස් කරගත්ත ද, දෙවැනි අදියරේ මෙම විශාල තොගය නිදහස් කරගැනීමට යාමේදී ප්‍රධාන රාජ්‍ය ආයතනයක උසස් නිලධාරිනියක විසින් නිසි අවසරය ලබා නොදීම හේතුවෙන් මෙලෙස මාස පහක් තිස්සේ වරායේ ප්‍රමාද ගාස්තු (Demurrage) ගෙවමින් තැබීමට සිදුව ඇතැයි වාර්තා වේ. එම නිලධාරිනිය පෙන්වා දී ඇත්තේ මෙම තොගය නිදහස් කිරීමට නම් නැවත වරක් කැබිනට් අනුමැතිය අවශ්‍ය බවයි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතාගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ, බඩඉරිඟු නොමැතිවීම හේතුවෙන් මීට පෙර ත්‍රිපෝෂ ආයතනය වසා තැබීමට පවා සිදුවූ බවත්, වත්මන් රාජ්‍ය මැදිහත් වීමෙන් ලැබුණු බඩඉරිඟු භාවිත කරමින් නිෂ්පාදන කටයුතු යළි අරඹා දිස්ත්‍රික්ක 25ටම ත්‍රිපෝෂ බෙදාහැරීමට කටයුතු කරන බවත්ය. කෙසේ වෙතත්, දැනට වරායේ සිරවී පවතින බඩඉරිඟු තොගය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණය හමුවේ නඩුවක් පවතින බැවින් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු ප්‍රකාශ කළ නොහැකි බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














