වාහන ආනයනය මත අමතර 50%ක බද්දක් පනවා තිබියදී, ඉන් වාහන මිල ඉහළ නොයන බවට මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා සිදුකරන ප්‍රකාශ අතිශය විහිළු සහගත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පසුගිය මැතිවරණ සමයේ රුපියල් ලක්ෂ 12කට ‘විට්ස්’ (Vitz) වර්ගයේ මෝටර් රථ ලබාදෙන බවට වත්මන් රජයේ මැති ඇමතිවරුන් පොරොන්දු වූ බව සිහිපත් කළ විපක්ෂ නායකවරයා, මෙවැනි පදනම් විරහිත කතා ඉදිරිපත් නොකර ජනතාව වෙනුවෙන් ආර්ථිකය විධිමත් ලෙස කළමනාකරණය කිරීම ජනාධිපතිවරයා ප්‍රමුඛ 159 දෙනෙකුගෙන් යුත් ආණ්ඩු පක්ෂයේ සෘජු වගකීමක් බව අවධාරණය කළේය. ඊයේ (17) වීරවිල ප්‍රදේශයේ ආගමික වතාවත්වලට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
ඩොලරයට සාපේක්ෂව රුපියල වාර්තාගත ලෙස අවප්‍රමාණය වීම හේතුවෙන් උද්ධමනය සහ බඩු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් සමස්ත ජන ජීවිතයම කඩා වැටෙමින් පවතින බව විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය. රුපියල ස්ථාවර කරගැනීමට නම් අපනයන ආදායම, සංචාරක කර්මාන්තය, විදේශ ප්‍රේෂණ සහ සෘජු විදේශ ආයෝජන (FDI) වර්ධනය කරගත යුතු වුවත්, වත්මන් රජයට ආර්ථික විද්‍යාව පිළිබඳ මූලික අවබෝධයක් හෝ නොමැති වීම නිසා දිනෙන් දින වැරදි තීන්දු ගන්නා බවට ඔහු චෝදනා කළේය. මීට වසරකට පෙර ඇරඹි ඊශ්‍රායල – ඇමෙරිකානු සහ ඉරාන යුද ගැටුම් හමුවේ නිර්මාණය වන ආර්ථික අභියෝගවලට රජය පෙර සූදානමක් නොවූ බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ නිසි පරිදි සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණ නව ගිවිසුමකට නොයෑම හේතුවෙන් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක ණයක් ගෙවීමට සිදුව ඇති බවත් පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා, ජනතාවට ලබාදෙන සහනාධාර කප්පාදු නොකර වහාම සහන වැඩි කිරීමට රාජ්‍ය මැදිහත් වීම අත්‍යවශ්‍ය බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














