වයස අවුරුදු 18ට වැඩි සෑම පුරවැසියෙකුටම ලබාගැනීම අනිවාර්ය කර ඇති බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය හෙවත් “ටින්” (TIN – Taxpayer Identification Number) අංකය ලබා නොගැනීම ඇතුළු බදු නීති උල්ලංඝනය කිරීම් රැසක් අපරාධමය වරදක් බවට පත් කෙරෙන නව දේශීය ආදායම් පනත් සංශෝධන හෙට (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මෙම නව සංශෝධනවලට අනුව ටින් අංකය ලබා නොගැනීම, නිසි පරිදි බදු ගොනු සහ වාර්තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම මෙන්ම දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හමුවේ අවශ්‍ය අවස්ථාවලදී පෙනී නොසිටීම බරපතළ අපරාධමය වැරදි ලෙස සලකනු ලබයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙරට බදු ගෙවන පිරිස ශීඝ්‍රයෙන් ඉහළ නංවා ගනිමින්, රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 20%ක ඉලක්කයක් කරා ළඟා කර ගැනීම මෙම දැඩි වැඩපිළිවෙළෙහි මූලික අරමුණ බවයි. මෙම නව නීතිමය සංශෝධන යටතේ වරදකරුවන් වන පුද්ගලයන් සඳහා රුපියල් ලක්ෂ හතරක (රු. 400,000) දැඩි මූල්‍ය දඩයක් හෝ මාස හයක (06) සිරදඬුවමක්, නැතහොත් එම දඬුවම් යුගලයම පැනවීමට අධිකරණයට බලය ලැබෙන පරිදි නීතිමය ප්‍රතිපාදන සකස් කර ඇත.














