අධිකරණය නොමඟ යවමින් පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ තවත් මන්ත්‍රීවරයෙකු විසින් ගොනු කරන ලද පෙත්සම් දෙකක්, පෙත්සම්කරුවන්ට තරයේ අවවාද කරමින් නිෂ්ප්‍රභා කිරීමට පේදුරුතුඩුව මහේස්ත්‍රාත්වරයා පියවර ගෙන තිබේ.
උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් මෙම සභාපතිවරයාට සහ අනෙක් මන්ත්‍රීවරයාට එරෙහිව සිදු කිරීමට නියමිතව ඇති විනය පරීක්ෂණයකට අදාළ නියෝගයක් බල රහිත කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම් දෙක ගොනු කර තිබුණි. පසුගිය 27 වැනිදා එම පෙත්සම් දෙක මූලික විභාගයට ගත් අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු පදනම් කරගෙන, මහේස්ත්‍රාත්වරයා විසින් ආණ්ඩුකාරවරයාගේ නියෝගය බල රහිත කරමින් මුලින් නියෝගයක් නිකුත් කර තිබුණි.
කෙසේ වෙතත්, පසුව ආණ්ඩුකාර කාර්යාලයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, පෙත්සම්කරුවන් දෙදෙනා විසින් අධිකරණය නොමඟ යවා ඇති ආකාරය නෛතිකව හෙළිදරව් කරනු ලැබීය.
එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව, පෙත්සම් දෙකම වහාම නිෂ්ප්‍රභා කිරීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළ අතර පෙත්සම්කාර සභාපතිවරයාට සහ මන්ත්‍රීවරයාට දැඩි ලෙස අවවාද කරමින් පෙත්සම් විභාගය අවසන් කළේය. ඒ අනුව, පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සහ මන්ත්‍රීවරයාට එරෙහිව ආණ්ඩුකාරවරයා විසින් කැඳවා ඇති විනය පරීක්ෂණය සැලසුම් කළ පරිදි මේ මස 20 වැනිදා (හෙට) ආරම්භ වීමට නියමිතය.














