දේශපාලනය යනු සංවර්ධනයෙන් වෙන් වූවක් නොවන බවත්, රාජ්‍ය පාලනයේදී ගන්නා සෑම තේරීමක් සහ තීරණයක්ම හැඩගස්වනු ලබන්නේ ඒ මඟින් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ (University of Sussex) සංවර්ධන අධ්‍යයන ආයතනයේ (IDS) 60 වන සංවත්සර සමුළුව අද (19) අමතමිනි.
අද උදෑසන බ්‍රයිටන්හි පිහිටි සසෙක්ස් විශ්වවිද්‍යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය, සංවර්ධන අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අනු ජෝෂි, මහාචාර්ය මික් මුවර් සහ එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
ශ්‍රී ලංකාවේ මෑතකාලීන දේශපාලන හා ආර්ථික අත්දැකීම් පාදක කරගනිමින් දේශපාලනය, යහපාලනය සහ සංවර්ධනය අතර ඇති අන්‍යෝන්‍ය සබැඳියාව අගමැතිවරිය මෙහිදී පැහැදිලි කළාය. මහජන අපේක්ෂාවන් ඉටු කරමින් සහ ප්‍රජාතන්ත්‍රවාදී වගවීම ආරක්ෂා කරමින්, රාජ්‍ය පාලනය, ආර්ථික පුනරුත්ථාපනය, සමාජ ආරක්ෂණය සහ ආයතනික ප්‍රතිසංස්කරණ සමබරව පවත්වාගෙන යාමේදී ඇති වන අභියෝග ඇය විසින් පෙන්වා දෙන ලදී.
වැටුප් ලබන සහ නොලබන රැකවරණ සේවාවන් (Care Economy), ජාතික ආර්ථිකයේ ප්‍රධාන සංරචකයක් ලෙස හඳුනාගැනීමට රජය දක්වන ප්‍රතිපත්තිමය අවධානය මෙහිදී අවධාරණය කෙරුණි. විශේෂයෙන්ම රැකවරණ ක්ෂේත්‍රය තුළ කාන්තාවන් මුහුණ දෙන අභියෝග මෙන්ම ඔවුන්ගෙන් රටේ ආර්ථිකයට සිදුවන දායකත්වය ද අග්‍රාමාත්‍යවරියගේ විශේෂ ඇගයීමට ලක් විය.
පසුගිය 18 වැනිදා රාත්‍රියේ ලන්ඩන්හි හීත්‍රෝ ගුවන් තොටුපළ වෙත ළඟා වූ අග්‍රාමාත්‍යවරිය ඇතුළු දූත පිරිස, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර මහතා සහ බ්‍රිතාන්‍ය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්වරයාගේ විශේෂ නියෝජිත රිචඩ් විල්ඩෑෂ් මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් විසින් පිළිගනු ලැබීය.














