හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ආශු මාරසිංහ මහතා සහ සුනඛයකු සම්බන්ධ කරගනිමින් තමන් විසින් මීට පෙර සිදුකරන ලද ප්‍රකාශ පදනම් විරහිත බව පිළිගනිමින්, ඒ පිළිබඳව තමන් දැඩි සේ කනගාටුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කළාය. ආදර්ශා කරඳන නමැත්තිය පෞද්ගලික වෛරයක් පිරිමසා ගැනීම සඳහා ඉදිරිපත් කළ ව්‍යාජ තොරතුරු මත තමන් ආශු මාරසිංහ මහතාට චෝදනා එල්ල කළ බවත්, එමඟින් ඔහුට සිදුවූ නින්දා අපහාස පිළිබඳව කනගාටු වන බවත් ඇය කියා සිටියාය.
ආදර්ශා කරඳන නමැති කාන්තාව සමඟ එක්ව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මාධ්‍ය හමුවක් පවත්වමින් තමන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් ආශු මාරසිංහ මහතා විසින් රුපියල් බිලියන 1.5ක වන්දි ඉල්ලා නඩු පවරා තිබුණි. එම නඩුව ඊයේ (19) දෙපාර්ශවයේ එකඟතාවයෙන් සමථයකට පත් කරගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව පැහැදිලි කළහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, 2023 දෙසැම්බර් මස අදාළ කාන්තාව සමගි ජන බලවේග කාර්යාලයට පැමිණ තමන්ට සිදුවූ අසාධාරණයක් සහ ඇගේ සුරතල් බල්ලාට ආශු මාරසිංහ මහතා වධහිංසා පමුණුවන බව පවසමින් වීඩියෝ දර්ශන කිහිපයක් පෙන්වූ බව සඳහන් කළාය. කාන්තාවකට සිදුවූ අසාධාරණයක් යැයි සිතා එදා තමන් ඇයට සහාය දැක්වූ බවත්, පසුව එම සිද්ධිය ගැන තවදුරටත් කරුණු විමසීමේදී ඇය තමන් මඟහැර ඇති බවත් හිරුණිකා පෙන්වා දුන්නාය. පසුව අධිකරණ ක්‍රියාමාර්ග අතරතුර ආශු මාරසිංහ මහතා විසින් අදාළ වීඩියෝ දර්ශන සියල්ලම විකෘති කරන ලද (Edited) ඒවා බව ඔප්පු කර පෙන්වූ බවත්, තමන්ව නොමඟ යවා දේශපාලනමය වශයෙන් ආශු මාරසිංහ මහතාට අපහාස කිරීමට එම කාන්තාව තමන්ව යොදාගෙන ඇති බව වැටහුණු බැවින් නඩුව සමථයකට පත්කර ගැනීමට තීරණය කළ බවත් ඇය පැවසුවාය. වංචා කළ අදාළ කාන්තාව මේ වන විට ලංකාවේ සිටින්නේදැයි සොයාගත නොහැකි බවද ඇය කීවාය.
මෙහිදී අදහස් දැක්වූ හිටපු මන්ත්‍රී ආචාර්ය ආශු මාරසිංහ මහතා ප්‍රකාශ කළේ, තමන්ට සිදුවූ අපහාසය පිළිබඳ සැබෑ තත්ත්වය වටහාගෙන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණය ඉදිරියේ කනගාටුව ප්‍රකාශ කරමින් නඩුව සමථයකට පත්කර ගැනීමට ඉදිරිපත් වීම පිළිබඳව ඇයට ස්තුතිවන්ත වන බවයි.














