මෙරට වියළි කලාපයේ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් විශේෂ තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) මඟින් ලබාදෙන රුපියල් මිලියන 300ක දැවැන්ත මූල්‍ය ප්‍රදානයක් යටතේ මෙම ව්‍යාපෘතිය ඉදිරි වසර 3ක කාලය පුරා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක කිරීමට නියමිතය.
කිරි ගොවීන්ගේ ආදායම් මාර්ග ශක්තිමත් කරමින් දේශීය කිරි කර්මාන්තය නවීන තාක්ෂණය ඔස්සේ සංවර්ධනය කිරීම වෙනුවෙන් දියත් කෙරෙන මෙම ව්‍යාපෘතිය, විශේෂයෙන්ම මෙරට වියළි කලාපයට අයත් උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ යන පළාත් හතර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙමඟින් එම පළාත්වල කිරි ගොවීන්ට අවශ්‍ය නවීන තාක්ෂණික උපදෙස්, යටිතල පහසුකම් සහ කළමනාකරණ පුහුණුව හිමිවන අතර, රට කිරිවලින් ස්වයංපෝෂිත කිරීමේ ජාතික ඉලක්ක සපුරා ගැනීමට ද මෙය විශාල අත්වැලක් වනු ඇතැයි කෘෂිකර්ම අංශ පෙන්වා දෙයි.














