පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු සභා ගැබෙන් (Chamber) ඉවත් කිරීමට කථානායක ජගත් වික්‍රමරත්න මහතා පියවර ගෙන තිබේ. කථානායකවරයා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත සෘජුවම උපදෙස් ලබාදෙමින් දැනුම් දී ඇත්තේ මන්ත්‍රීවරයාව සභා ගැබෙන් පිටතට රැගෙන යන ලෙසයි.
තමන්ට පනවා ඇති විදෙස් ගමන් තහනමක් සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු කටයුත්තක් පාර්ලිමේන්තුව තුළ මතු කරමින් චාමර සම්පත් දසනායක මහතා අදහස් දැක්වීමට උත්සාහ කළ අතර, ඊට කථානායකවරයා සහ සභානායකවරයා විරෝධය පළ කිරීමත් සමඟ සභාව තුළ දැඩි නොසන්සුන්තා ඇති විය. එහිදී කථානායකවරයාගේ නියෝග සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග නොතකමින් මන්ත්‍රීවරයා දිගින් දිගටම සභා ගර්භය තුළ කලහකාරී සහ නොසන්සුන් අන්දමින් හැසිරීම හේතුවෙන් සභාවේ විනය ආරක්ෂා කිරීම වෙනුවෙන් කථානායකවරයා විසින් මෙම දැඩි තීරණය ගනු ලැබීය.














