කොංගෝ ජනරජය තුළ මේ වන විටත් අවම වශයෙන් පුද්ගල ජීවිත 131ක් බිලිගෙන ඇති මාරාන්තික ඉබෝලා (Ebola) වෛරසය, මුලින් ගණන් බලා තිබූ වේගයට වඩා බෙහෙවින් වේගයෙන් ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිල වශයෙන් අනතුරු අඟවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ පෙළේ නිලධාරීන් පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය මත මෙය ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් (Public Health Emergency) දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතින බවයි.
සෞඛ්‍ය අංශ විසින් සිදුකරන ලද පුළුල් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ, මෙම මාරාන්තික වෛරසය මේ වන විටත් කොංගෝ රාජ්‍යයේ සැලකිය යුතු ප්‍රදේශ ගණනාවකට පැතිර ගොස් ඇති බවයි. වෛරසය ආසාදනය වන පුද්ගලයන්ගේ ශරීර ද්‍රව හරහා සෘජුවම අනෙක් අයට බෝවන බැවින් සහ ඉහළ මරණ අනුපාතිකයක් පවතින බැවින්, ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ හදිසි සහාය සහ දැඩි සෞඛ්‍ය ආරක්ෂිත උපක්‍රම වහාම ක්‍රියාත්මක කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.














