බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පිහිටි රණවිරු ස්මාරක භූමියට අයුතු ලෙස ඇතුළු වී, එහි ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව කියන සිද්ධියට අදාළව ජාතික නිදහස් පෙරමුණේ (JNP) නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු සැකකරුවන්ට මේ අවස්ථාවේදී වරෙන්තු නිකුත් කළ නොහැකි බව කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (20) ප්‍රකාශ කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස තලංගම පොලිසිය විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි. එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් පරිදි තවදුරටත් පුළුල් විමර්ශනයක් සිදුකර, ඊට අදාළ ප්‍රගති වාර්තාවක් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස තලංගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට නියෝග කළේය. දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබූ මෙම නඩුවේ ඉදිරි විමර්ශන වාර්තා සලකා බැලීමෙන් අනතුරුව ඉදිරි නීතිමය පියවර ගන්නා බව ද අධිකරණය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.














