පාස්කු ඉරුදින එල්ල වූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන පුළුල් විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතාට අදාළ නඩුකරය ලබන ජූලි මස 01 වනදා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් දැඩි පොලිස් ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ සුරේෂ් සලේ මහතාව අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය. එහිදී නඩුව සලකා බැලූ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා, එතෙක් සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් අතර, ලබන ජූලි 01 වනදා ඔහුව නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළේය. පසුගිය පෙබරවාරි මාසයේදී රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු බුද්ධි ප්‍රධානියාගෙන් පාස්කු ප්‍රහාරයේ සැබෑ සූත්‍රධාරීන් සහ ඊට ඇති දේශපාලන සම්බන්ධතා පිළිබඳව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ තවදුරටත් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකෙරේ.














