පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ දුතේර්තේගේ පාලන සමයේ ක්‍රියාත්මක වූ මතභේදාත්මක “මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයේ” ප්‍රධාන මෙහෙයවන්නෙකු වූ සෙනෙට් මන්ත්‍රී රොනල්ඩ් “බාතෝ” ඩෙලා රෝසා (Ronald “Bato” dela Rosa) තමන්ව අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) වෙත භාරදීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටිමින් ඉදිරිපත් කළ පෙත්සම එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (20) ප්‍රතික්ෂේප කර තිබේ.
හිටපු පොලිස් ප්‍රධානියා ද වන ඩෙලා රෝසා මහතාට එරෙහිව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකිරීමේ චෝදනා මත ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති අතර, විදේශීය අධිකරණයකින් නිකුත් කළ වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමට දේශීය ආරක්ෂක අංශවලට නීතිමය බලයක් නොමැති බව පවසමින් ඔහුගේ නීතිඥවරුන් මෙම පෙත්සම ගොනුකර තිබුණි. කෙසේ වෙතත්, මෙම තීන්දුවත් සමඟ ඔහුව අත්අඩංගුවට ගැනීමට පවතින නීතිමය බාධා ඉවත්වන බවත්, අධිකරණ ලේකම්වරයා දැනටමත් ආරක්ෂක අංශ වෙත ඔහුව අත්අඩංගුවට ගැනීමට උපදෙස් දී ඇති බවත් වාර්තා වන අතර, වර්තමානයේ ඩෙලා රෝසා සිටින ස්ථානයක් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.














