වර්තමානයේ පවතින ගෝලීය ඩොලර් අර්බුදය හමුවේ ශ්‍රී ලංකා රුපියල ඇතුළු ලොව රටවල් කිහිපයකම මුදල් ඒකක ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇති බවත්, එම තත්ත්වය පාලනය කරමින් රටේ ඩොලර් සංචිතය ආරක්ෂා කරගැනීම සඳහා රජය පෞද්ගලික වාහන ආනයන බදු ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවත් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියල 6.4%කින් ද, නේපාල රුපියල 6.2%කින් ද, ඉන්දුනීසියානු රුපියල 5.2%කින් ද, පිලිපීන පේසෝ එක 4.7%කින් සහ තායිලන්ත බාත් මුදල් ඒකකය 4%කින් දුර්වල වී ඇති පසුබිමක ශ්‍රී ලංකා රුපියල දුර්වල වී ඇත්තේ 4.8%ක මට්ටමක බවයි. කෙටි කාලයක් තුළ මෙරට වාහන වෙළඳපල විවෘත කිරීම හේතුවෙන් ඩොලර් බිලියන දෙකකට ආසන්න මුදලක් වාහන ආනයනය සඳහා වැය වී ඇති බැවින්, පෞද්ගලික පරිහරණයට ගෙන්වන වාහන සඳහා පනවා තිබූ තීරු බද්ද සියයට 100 සහ 130 සිට සියයට 145 දක්වා මාස තුනක කාලයකට වැඩි කිරීමට රජය තීරණය කර ඇත.
කෙසේ වෙතත්, මෙම බදු වැඩිකිරීම සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන පොදු ප්‍රවාහන සහ අත්‍යවශ්‍ය වාහන සඳහා අදාළ නොවන බව අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අනුව බස් රථ, ලොරි රථ, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සඳහා මෙම බදු ඉහළ දැමීම සිදු කර නොමැති අතර, මෙම තීරණයේ ප්‍රධාන අරමුණ වාහන ආනයනය සීමා කර තෙල් පරිභෝජනය ද අඩු කර ගනිමින් පවතින අර්බුදයට සාර්ථකව මුහුණ දීම බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














