මධ්‍යම සහ නිරිතදිග චීනයට බලපා ඇති දරුණුතම වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අද (20) වාර්තා වෙයි. ගංවතුර තත්ත්වය උග්‍ර වීමත් සමඟ ප්‍රදේශ රැසක ව්‍යාපාරික ස්ථාන, පාසල් සහ ප්‍රවාහන සේවා මුළුමනින්ම අඩපණ වී තිබේ.
හුබෙයි (Hubei) සහ හුනාන් (Hunan) ඇතුළු මධ්‍යම පළාත්වල මෙන්ම දකුණුදිග ගුවැන්ඩොං (Guangdong) ප්‍රදේශයේ දරුණු ලෙස ජලයෙන් යටවී ඇති නගරවල සිරවී සිටින ජනතාව, විශේෂයෙන්ම වයෝවෘද්ධ පුරවැසියන් මුදාගැනීම සඳහා චීන සහන කණ්ඩායම් සහ හමුදා නිලධාරීන් බෝට්ටු මඟින් මෙන්ම ඇතැම් ගොඩනැගිලි තුළට පිහිනා යමින් දැවැන්ත මෙහෙයුමක නිරත වන බව චීන රාජ්‍ය මාධ්‍ය (CCTV) වාර්තා කර ඇත. බෙංගාල බොක්ක, දකුණු චීන මුහුද සහ පැසිෆික් සාගරය යන කලාප තුනෙන්ම පැමිණි අධික තෙතමනය සහිත සුළං ප්‍රවාහයන් එකිනෙක හමුවීම හේතුවෙන් කිලෝමීටර් 1000කට අධික විශාල වපසරියක් පුරා මෙම අසාමාන්‍ය තද වැසි තත්ත්වය නිර්මාණය වී ඇති බව එරට කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.
චීන කාලගුණ කාර්යාංශය අනතුරු අඟවන්නේ හෙට (බ්‍රහස්පතින්දා) සිට තවත් අලුත් වැසි වටයක් ආරම්භ වන බැවින් ෂැන්සි (Shaanxi), සිචුවාන් (Sichuan) ඇතුළු උතුරු සහ දකුණු පළාත් රැසකට නායයෑම්, හදිසි ගංවතුර සහ නාගරික ජලගැලීම් පිළිබඳ ඉහළ අවදානමක් පවතින බවයි.














