නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (20) පස්වරුවේ නිවේදනය කර තිබේ.
ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන අතර, ඌව පළාතේත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තරමක තද සුළං ඇති විය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














