වසර 30ක් පැවති යුද්ධය අවසන් කර වසර 17ක් සපිරෙන අවස්ථාවේදී, තමන් සටන් කළේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සමඟ මිස දමිළ ජනතාව සමඟ නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ත්‍රස්තවාදය අවසන් කිරීම හේතුවෙන් අද වන විට උතුරු පළාතේ දරුවන්ට නිදහසේ අධ්‍යාපනය ලැබීමට වටපිටාව සැකසී ඇති බවත්, එම යුද ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ රණවිරුවන් අගය කිරීමට වත්මන් රජයේ රාජ්‍ය නායකයන් අපොහොසත් වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙහිදී මන්ත්‍රීවරයා ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකලාපය පිළිබඳව කරුණු දක්වමින් චෝදනා කළේ ජනතාව සහ ව්‍යාපාරිකයන් මත අසීමිත ලෙස බදු පටවමින්, TIN අංකය නොමැති නම් සිරගත කරන බවට ආණ්ඩුව ජනතාව මර්දනය කරමින් සිටින බවයි. ජනතාවගේ බදු මුදල් ආරක්ෂා කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවත්, පෞද්ගලික බැංකුවලින් බිලියන 13.5ක්, රාජ්‍ය බැංකුවකින් මිලියන 600ක් මෙන්ම මුදල් අමාත්‍යාංශයෙන් කෝටි 90කට ආසන්න මුදලක් හැකර්වරුන් විසින් සොරාගෙන ඇති බවත් ඔහු අනාවරණය කළේය. රුපියල කඩාවැටීමට හේතුව තෙල් මිල ඉහළ යාම බව මහ බැංකු අධිපතිවරයා පැවසුවද, ඇත්ත වශයෙන්ම අමතර තෙල් මිලදී ගැනීමට සිදුව ඇත්තේ ආණ්ඩුවේ බාල ගල් අඟුරු ප්‍රසම්පාදන වංචාව හේතුවෙන් සිදුවූ පාඩුව පියවා ගැනීමට බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. ඉදිරි මහ කන්නය සඳහා ගොවීන්ට දරාගත හැකි මිලකට පොහොර ලබාදීමට ආණ්ඩුවට මෙතෙක් කිසිදු විධිමත් සැලැස්මක් නොමැති බව පවසමින් නාමල් රාජපක්ෂ මහතා රටේ ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳව වහාම අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටියේය.














