පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධ නඩුව අද (20) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා පිටු 14ක දීර්ඝ විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් සුවිශේෂී කරුණු රැසක් අනාවරණය කළේය. ප්‍රංශයේදී අසාත් මවුලානා නමැත්තාගෙන් ලබාගත් ප්‍රකාශයකට අනුව, දේශපාලන අවශ්‍යතාවයක් ඉටුකිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ මෙම ප්‍රහාරයේ ප්‍රධාන මහමොළකරු තුවාන් සුරේෂ් සලේ බව පැහැදිලි වන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම මහා පරිමාණ කුමන්ත්‍රණයට අදාළව CIDය විසින් අධිකරණය හමුවේ තවදුරටත් කරුණු කිහිපයක් විස්තර කළේය. බන්ධනාගාරගතව සිටි සහරාන්ගේ කල්ලියේ සෙයිනි මවුලවී සහ පිල්ලෙයාන් හරහා සුරේෂ් සලේ සම්බන්ධ වී ඇති අතර, ප්‍රහාරයට පෙර ස්වයංඝාතක බෝම්බකරුවන් හයදෙනෙකු පුත්තලමේදී සුරේෂ් සලේ හමුවී සාකච්ඡා කර තිබේ. සෙයිනි මවුලවීට ඇප ලබාගැනීම සඳහා යුද හමුදා බුද්ධි අංශයෙන් රුපියල් 250,000ක මහජන මුදල් වැය කර ඇති බවත්, පිල්ලෙයාන්ගේ කල්ලියේ 2,000කට අධික පිරිසකට බුද්ධි අංශයෙන් වැටුප් ගෙවා ඇති බවත් හෙළි විය. ප්‍රහාරයෙන් පසුව මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් මඩකලපුව බන්ධනාගාරයට ගොස් පිල්ලෙයාන් හමුවී, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වී සතියකින් ඔහුව නිදහස් කරන බවට පොරොන්දු වී ඇති අතර, පසුව සුරේෂ් සලේව සමස්ත රාජ්‍ය බුද්ධි සේවයේම ප්‍රධානියා ලෙස පත්කර ඇත්තේ බුද්ධි තොරතුරු පිටතට යාම වැළැක්වීමට බව ද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.














