ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, පානීය ජල සැපයුම සහ කැළි කසළ ගැටලුව විසඳීමට ඉදිරි අයවැයෙන් විශේෂ අවධානයක් යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (20) පෙරවරුවේ මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.
මඩකළපුව දිස්ත්‍රික්කයේ ජල සම්පාදන ව්‍යාපෘති පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා, ප්‍රධාන ව්‍යාපෘති ක්‍රියාත්මක වන තෙක් තාවකාලිකව පානීය ජල ගැටලුව විසඳීමට පියවර ගන්නා ලෙසත්, සැලසුම් කර ඇති සියලු මාර්ගවල ඉදිකිරීම් මේ වසරේදීම ආරම්භ කරන ලෙසත් නිලධාරීන්ට දැනුම් දුන්නේය. මීට අමතරව, ඉඩම් ගැටලු, මයිලත්තමඩු-මාදවනෙයි කිරි ගොවීන්ගේ ඉල්ලීම්, වාලච්චේන ධීවර වරාය සංවර්ධනය සහ අලි මිනිස් ගැටුම අවම කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. එසේම, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් විනාශ වූ වගා බිම් හා නිවාස සඳහා වන්දි ගෙවීමේ කටයුතු මෙන්ම ‘ප්‍රජාශක්ති’ වැඩසටහනේ ප්‍රගතිය ද විමසා බැලූ ජනාධිපතිවරයා, එම සහන සැලසීමේ ක්‍රියාවලීන් කඩිනම් කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.














