ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ඉබෝලා වෛරස් වසංගත තත්ත්වය “මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක්” ලෙස නිවේදනය කිරීමත් සමඟ, එයින් ආරක්ෂා වීම සඳහා ලංකාව තුළ කරුණු 5කින් සමන්විත ආරක්ෂක ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත මෙරට ක්‍රියාත්මක වන පස් වැදෑරුම් ක්‍රමවේදය පහත දැක්වේ.
පළමුව, ගුවන්තොටුපළ ආශ්‍රිත පරීක්ෂණ සහ ආවේක්ෂණ කටයුතු ශක්තිමත් කිරීම. දෙවනුව, සැක සහිත රෝගියකු වාර්තා වුවහොත් ප්‍රතිකාර කිරීම සඳහා ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) මනා ලෙස පෙර සූදානම් කර තැබීම. තෙවනුව, රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) සූදානම් කිරීම. සිව්වනුව, රට තුළ සමස්ත රෝග නිරීක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සහ ගෝලීය තත්ත්වය නිරන්තරයෙන් අධ්‍යයනය කිරීම. පස්වනුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය අවශ්‍ය කටයුතු සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීම වේ.
මේ වන විට ඉබෝලා වසංගතය කොංගෝ රාජ්‍යය සහ උගන්ඩාව වැනි අප්‍රිකානු රටවල ව්‍යාප්ත වෙමින් පැවතුණ ද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව ශ්‍රී ලංකාව පවතින්නේ මෙම රෝගය වැළඳීමේ “අඩු අවදානම්” මට්ටමක බැවින් ජනතාව මේ පිළිබඳව අනිසි බියක් ඇති කර නොගත යුතු බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරයි.














