ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් අමර් ප්‍රීත් සිං මහතා සිය සංචාරය නිමවා අද (21) දිවයිනෙන් පිටව යාමට නියමිතය.
සිය සංචාරය අතරතුරදී, බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාම සාධක බළකා ස්මාරකය (IPKF Memorial) වෙත පුෂ්පෝපහාර දැක්වූ ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා, ගුවන් හමුදා මූලස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සම්මාන මුර පෙළපාලියකින් ඔහු පිළිගනු ලැබීය.
මෙම සංචාරයේදී ශ්‍රී ලංකා සහ ඉන්දීය ගුවන් හමුදාපතිවරුන් අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වුණු අතර, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම්වරයා හමුවී ද ආරක්ෂක සබඳතා සහ අන්‍යෝන්‍ය මිත්‍රත්වය ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කළේය.
එමෙන්ම, ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා සහ නාවික හමුදාපතිවරයා හමුවීමට ද ඔහු කටයුතු කළේය. සිය සංචාරයේදී මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගනිමින් ආශීර්වාද ලබා ගැනීමට ද ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා කටයුතු කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.














