ඇමරිකානු කොංග්‍රස් පර්යේෂණ සේවය (CRS) විසින් නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, ඉරාන යුද්ධයේදී එක්සත් ජනපද හමුදාවට අයත් ගුවන් යානා 42ක් විනාශ වී හෝ හානි වී ඇත. මෙම ගුවන් යානා ලැයිස්තුවට ප්‍රහාරක ජෙට් යානා, ඔත්තු බැලීමේ ගුවන් යානා සහ ඩ්‍රෝන යානා ඇතුළත් වේ.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙන පරිදි, මෙම හානි වූ හෝ විනාශ වූ යානා අතරට F-15E Strike Eagle ප්‍රහාරක යානා, F-35A Lightning II වර්ගයේ යානයක්, MQ-9 Reaper ඩ්‍රෝන යානා, KC-135 ඉන්ධන පිරවුම් යානා සහ E-3 Sentry ඔත්තු බැලීමේ ගුවන් යානා ඇතුළු තවත් යුධ උපකරණ රැසක් අයත් වේ.
මෙම හානි සිදුව ඇත්තේ සෘජු සටන්වලදී වෙඩි තබා බිම හෙළීමෙන් පමණක් නොවන අතර, මෙහෙයුම් අතරතුරදී සිදුවූ හානි, ගුවන් තොටුපළවලදී ගොඩබිමේදීම විනාශ වූ යානා සහ යුද්ධය ආශ්‍රිත අනෙකුත් සිදුවීම්වලින් අහිමි වූ යානා ද ඊට ඇතුළත් බව වාර්තාව පෙන්වා දෙයි. පෙන්ටගනයේ නිවේදන, එක්සත් ජනපද මධ්‍යම අණදෙන මධ්‍යස්ථානයේ (US Central Command) යාවත්කාලීන කිරීම් සහ මාධ්‍ය වාර්තා පදනම් කර ගනිමින් මෙම තොරතුරු සම්පාදනය කර ඇත. කෙසේ වෙතත්, එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ගුවන් යානා අහිමිවීම් සම්බන්ධයෙන් සම්පූර්ණ දත්ත හෙළි කර ඇත්ද යන්න පිළිබඳව තවමත් අවිනිශ්චිතතාවක් පවතින බව CRS වාර්තාවේ දැක්වේ.
මෙම සිදුවීමත් සමඟ යුද්ධයේ මිලිටරි සහ මූල්‍ය පිරිවැය පිළිබඳව දැඩි අවධානයක් යොමුව ඇති අතර, හානි වූ සහ අහිමි වූ එම යුධ උපකරණවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන ගණනක් වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.














