කුරුණෑගල – පුත්තලම මාර්ගයේ පිහිටි තිත්තවැල්ල වැව සහ ඒ ආසන්නයේ ගොඩ වී ඇති වැවටම අයත් කොටසක් සංවර්ධනය කරමින් නව සංචාරක ප්‍රවර්ධන කලාපයක් පිහිටුවීමට කුරුණෑගල ප්‍රාදේශීය සභාව විසින් පියවර ගෙන තිබේ. මෙතෙක් කලක් විවිධ අපද්‍රව්‍ය සහ ජලජ ශාකවලින් පිරී ගිය ගොහොරු බිමක් ලෙස පැවති විශාල ප්‍රදේශයක් නැවත වැවක් බවට පරිවර්තනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇත.
කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් ගුණතිලක මහතා ඇතුළු ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ අදහසකට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ඒ සඳහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක සහ වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය යන මහත්වරුන්ගේ මඟපෙන්වීම ලැබී ඇත. මෙම සංචාරක කලාපය ඉදිකිරීම සඳහා සංචාරක අමාත්‍යාංශය, වයඹ සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරියේ සහයෝගය ද ලබා ගැනේ. වයඹ පළාත දිවයිනේ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ වැඩසටහනට සමගාමීව මෙය සැලසුම් කර ඇත.
ප්‍රාදේශීය සභා මන්ත්‍රී යොහාන් සිල්වා මහතා පවසන පරිදි, ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ වයඹ පළාත් සභාවේ ප්‍රතිපාදන මත තිත්තවැල්ල වැව හා ඒ අවට පරිසර පද්ධතිය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර අවසන් කර ඇත. දෙවැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 15ක මුදලක් යොදවා අතිරේක වැව් පද්ධතිය ඉදි කෙරෙමින් පවතී.
සංචාරක අමාත්‍යාංශයෙන් ලැබී ඇති රුපියල් ලක්ෂ 300ක මුදලක් යොදවා තිත්තවැල්ල සංචාරක ප්‍රවර්ධන කලාපය ඉදිකිරීමට නියමිතය. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගන්නා අංගෝපාංග රැසක් සමඟ නවීන පහසුකම්වලින් සමන්විත වැසිකිළි පද්ධතියක් ද මෙහි ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














