වත්මන් රජය ආර්ථික වශයෙන් අපහසු අදියරක සිටින බවට මහ බැංකුව ප්‍රකාශ කර ඇති මතය ආණ්ඩුව අවංකව පිළිගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජනාධිපතිවරයා ප්‍රමුඛ මුදල් අමාත්‍යාංශය වෙත මහ බැංකු අධිපතිවරයා චෝදනාවක් නිකුත් කරමින් රට මේ වන විට මූල්‍යමය වශයෙන් අසීරු අවස්ථාවක සිටින බව ප්‍රකාශ කර ඇති බවත්, එය ආණ්ඩුව වටහා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, රජය ගොවි ජනතාව සහ ධීවර ප්‍රජාව අනාථ කර ඇති අතර දරිද්‍රතාව තුරන් කිරීම සඳහා කිසිදු පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොමැති බවයි. රෝහල්වල උපකරණ හිඟයක් පැවතීම හේතුවෙන් ශල්‍යකර්ම සඳහා පවා ජනතාවට පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇති බව ඔහු පැවසීය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා විපක්ෂය බාධා කළ බවට රජය කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව පැවසූ විපක්ෂ නායකවරයා, තමන් විරුද්ධ වූයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අසභ්‍ය වීඩියෝපට ඇතුළත් කිරීමට පමණක් බවත්, වර්තමානයේ ස්මාර්ට් පන්ති කාමර පවා ඉදි කර ගැනීමට නොහැකිව රජය අසාර්ථක වී ඇති බවත් සඳහන් කළේය.
රුපියල් ලක්ෂ 12කට වාහනයක් ලබා දෙන බවට පොරොන්දු වූ රජය, මේ වන විට වාහන සඳහා පනවා ඇති බදු හරහා ජනතාව රවටා ඇති බවත්, තමන්ගේ සුවය උදෙසා ජනතාව බිල්ලට තබන පාලනයක් වත්මන් ආණ්ඩුව විසින් පවත්වාගෙන යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.














