මෙරට නාවික වෘත්තිකයන්ට සහ කෙඩෙට් නිලධාරීන්ට ජාත්‍යන්තර වෙළෙඳ නාවික ක්ෂේත්‍රය තුළ පවතින ගෝලීය රැකියා සහ පුහුණු අවස්ථා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් යුතුව විශේෂ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවක් අද (21) වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වා තිබේ. වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සහ ලොව සුප්‍රකට ‘පීටර් ඩොලේ ෂිෆාර්ට්ස් කේ.සී’ (Peter Döhle Schiffahrts KG) සමාගමේ ඉහළ පෙළේ නියෝජිතයෙකු වන ඇන්ඩ්‍රියාස් නීහේජ් මහතා අතර මෙම නිල හමුව පැවැත්වුණි.
මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ අදාළ ජාත්‍යන්තර නැව් සමාගම අතර පවතින දිගුකාලීන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම මෙන්ම ඉදිරියේදී තවත් වැඩි ශ්‍රී ලාංකිකයන් පිරිසකට එම සමාගමට අයත් ලොව වටා යාත්‍රා කරන නෞකාවල ඉහළ රැකියා අවස්ථා ලබාදීම පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය. වරාය අමාත්‍යාංශ දත්තවලට අනුව, මේ වන විටත් මෙම ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ආයතනය සතු නෞකා මත ශ්‍රී ලාංකික නාවික වෘත්තිකයන් 233 දෙනෙකු සක්‍රීයව සේවයේ නිරත වන අතර, එම ආයතනය යටතේ සේවය කරන සමස්ත ශ්‍රී ලාංකික නාවික කණ්ඩායම (Total Fleet Crew) 507ක් දක්වා ඉහළ අගයක පවතී. මීට අමතරව මෙරට සාගර විශ්වවිද්‍යාල සහ පුහුණු ආයතනවලින් බිහිවන තරුණ කෙඩෙට් නිලධාරීන් (Cadet Officers) 76 දෙනෙකුට ද මෙම සමාගමට අයත් නෞකාවල මේ වන විටත් වෘත්තීය මට්ටමේ සාගර පුහුණුව ලබාදීමට කටයුතු කර ඇත. මෙම නව සාකච්ඡාමය එකඟතාවන් හරහා ඉදිරියේදී ලංකාවට ගලා එන විදේශ ප්‍රේෂණ තවදුරටත් වර්ධනය කරගැනීමට හැකිවනු ඇතැයි වරාය අමාත්‍යාංශය අපේක්ෂා කරයි.














