ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඊළඟ ණය වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක දැවැන්ත මූල්‍ය ප්‍රතිපාදනය එළඹෙන මැයි මස 27 වැනිදා රටට ලැබෙනු ඇතැයි රජය දැඩි විශ්වාසයකින් පසුවන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (21) පාර්ලිමේන්තුවේදී නිල වශයෙන් ප්‍රකාශ කළේය. අද දින පාර්ලිමේන්තු සභාවාරය අමතමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ රටේ වත්මන් මූල්‍ය කළමනාකරණය පිළිබඳව පැහැදිලි කරමිනි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රටේ විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීම සඳහා සාමාන්‍ය අපනයන ආදායම් සහ විදේශ ප්‍රේෂණවලට (රෙමිටන්ස්) අමතරව, ඉදිරි සතියේදී ලැබීමට නියමිත මෙම IMF ඩොලර් මිලියන 700ක මුදල මඟින් ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් තහවුරු වන බවයි. මීට අමතරව, ආසියානු සංවර්ධන බැංකුව (ADB) මඟින් මෙම වසර (2026) ඇතුළත ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක මුදලක් ලබාගැනීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවත්, ලෝක බැංකුවෙන් (World Bank) ඩොලර් මිලියන 150ක් සහ තවත් ජාත්‍යන්තර අනුශාංගික මූල්‍ය ආයතනයකින් ඩොලර් මිලියන 50ක් වශයෙන් තවදුරටත් විදේශ ආධාර ලැබීමට නියමිත බවත් ඔහු සභාවට දැනුම් දුන්නේය. මේ හේතුවෙන් රටේ ඉදිරි මූල්‍ය හා ආර්ථික ක්‍රියාවලිය කළමනාකරණය කරගැනීමේදී කිසිදු ආකාරයක අර්බුදයක් හෝ ගැටලුවක් මතු නොවන බව නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.















