ඇමරිකාවේ කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් පිහිටි චැනල් දූපත් (Channel Islands) ජාතික වනෝද්‍යානයට අයත් සැන්ටා රෝසා (Santa Rosa) දූපතේ හටගත් දරුණු ලැව් ගින්නක් හේතුවෙන් එම දූපතේ සමස්ත භූමි ප්‍රමාණයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සිකුරාදා (15) දින ආරම්භ වූ මෙම ලැව් ගින්න මේ වන විට අක්කර 17,000කට ආසන්න ප්‍රමාණයක් බිලිගෙන ඇති අතර, මෙය මේ වසර තුළ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් වාර්තා වූ විශාලතම සහ විනාශකාරීම ලැව් ගින්න ලෙස සටහන් වේ.
ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයක දක්නට නොලැබෙන අතිශය දුර්ලභ ශාක හා සත්ව විශේෂ රැසකට නිවහනක් වන බැවින් මෙම දූපත පාරිසරික වශයෙන් ඉහළ වටිනාකමකින් යුක්තය. විශේෂයෙන්ම වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ‘සැන්ටා රෝසා ටොරේ පයින්’ (Torrey Pine) නැමැති දුර්ලභ පයින් ශාක විශේෂය පවතින කලාපය දෙසට ගින්න පැතිර යමින් පවතින බැවින් පරිසරවේදීන් දැඩි කනස්සල්ල පළ කර සිටී. පවතින දැඩි වියළි කාලගුණය සහ ප්‍රචණ්ඩකාරී සුළං හේතුවෙන් ගුවන් මඟින් ජලය සහ ගිනි නිවන ද්‍රව්‍ය හෙළීමේ මෙහෙයුම්වලට ද දැඩි බාධා එල්ල වී ඇති අතර, මේ වන විට ගිනි නිවන භටයන් සියයකට අධික පිරිසක් ගින්න පාලනය කිරීම සඳහා වෙහෙසෙමින් සිටිති.
මූලික විමර්ශනවලට අනුව මෙම ගින්න මිනිස් ක්‍රියාකාරකමක් හේතුවෙන් හටගෙන ඇතැයි සැක කෙරේ. දූපත අසල මුහුදේදී අනතුරට පත් වූ යාත්‍රාවක සිටි නැවියෙකු, උපකාර ඉල්ලා අහසට නිකුත් කළ හදිසි සංඥා ලාම්පු (Flares) හේතුවෙන් මෙම ලැව් ගින්න හටගන්නට ඇතැයි බලධාරීන් සැක කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. අනතුරෙන් දූපතේ තිබූ ඓතිහාසික ගොඩනැගිලි දෙකක් ද විනාශ වී ඇති අතර, ආරක්ෂක පියවරක් ලෙස එහි සේවය කළ ජාතික වනෝද්‍යාන සේවකයන් 11 දෙනෙකු ද හෙලිකොප්ටර් මඟින් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන ඇත.














