ගාසා තීරයේ ජනතාවට මානුෂීය ආධාර රැගෙන ගිය ‘ග්ලෝබල් සමුද් ෆ්ලෝටියා’ (Global Sumud Flotilla) සහන කණ්ඩායමේ යාත්‍රා ඊශ්‍රායල හමුදා බාරයට ගැනීමෙන් පසු, එහි සිටි ශ්‍රී ලාංකික මානව හිමිකම් ක්‍රියාකාරිණියක වන සමීරා මෙහෙබුදීන් ඇතුළු පිරිසට අමානුෂික ලෙස සලකන ආකාරය දැක්වෙන වීඩියෝ පට කෙරෙහි ශ්‍රී ලංකා රජය සිය දැඩි කනස්සල්ල සහ සංවේගය පළ කර සිටී. ඊශ්‍රායල අන්ත දක්ෂිණාංශික අමාත්‍ය ඉටමාර් බෙන්-ගිවීර් (Itamar Ben-Gvir) විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහරින ලද මෙම වීඩියෝව සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අද (21) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ නිවේදනය මඟින් රජය අවධාරණය කරන්නේ බලපෑමට ලක්ව ඇති සමීරා මෙහෙබුදීන් මහත්මියගේ ආරක්ෂාව, යහපැවැත්ම සහ ගෞරවය තහවුරු කරමින් ඇයව කඩිනමින් සහ ආරක්ෂිතව මෙරටට නැවත ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරමින් සිටින බවයි. මේ සඳහා අවශ්‍ය ක්ෂණික කොන්සියුලර් සහාය ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මේ වන විටත් රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ ටෙල් අවිව්හි පිහිටි ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය සමඟ සෘජු සම්බන්ධීකරණ කටයුතු ආරම්භ කර ඇත. විදේශයන්හි වෙසෙන සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වත්මන් රජය උපරිමයෙන් කැපවී සිටින බව ද එහි දක්වා තිබේ.
තුර්කියේ සිට ගාසා තීරය බලා යාත්‍රා 50කින් පමණ ගමන් ඇරඹූ මෙම ජාත්‍යන්තර සහන කණ්ඩායමට අයත් විදේශීය මානව හිමිකම් ක්‍රියාකාරීන් 500කට ආසන්න පිරිසක් මේ වන විට ඊශ්‍රායල ආරක්ෂක අංශ අත්අඩංගුවේ පසුවෙති. රඳවා සිටින පිරිස විවිධ වධහිංසාවලට සහ අඩත්තේට්ටම්වලට ලක්වන ආකාරය දැක්වෙන මෙම වීඩියෝ දර්ශන පටය, එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) ඇතුළු ඔස්ට්‍රේලියාව, ඉතාලිය, ප්‍රංශය, නෙදර්ලන්තය, නවසීලන්තය, කැනඩාව සහ බෙල්ජියම වැනි ලොව ප්‍රමුඛ රටවල් රැසකගේ දැඩි දෝෂදර්ශනයට හා හෙළාදැකීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.















