නිරිතදිග මෝසම් තත්ත්වය (South-West Monsoon) ශ්‍රී ලංකාව හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට ඉදිරි දිනවලදී ද වැසි සහ තද සුළං සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.නවතම කාලගුණ අනාවැකියට අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. විශේෂයෙන්ම මෙම පළාත්වල සහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවීමේ ප්‍රවණතාවක් පවතී. මීට අමතරව, උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.
ඌව පළාතේත්, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක. එසේම, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 35ත් 45ත් (35-45 km/h) අතර වේගයකින් හමන තරමක තද සුළං ඇතිවිය හැකි බව ද වාර්තා වේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.














