ලක්වාසී සහ ලෝකවාසී බෞද්ධ ජනතාව අති උත්තම ලෙස සලකනු ලබන සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය එළඹෙන මැයි 30 වැනිදාට යෙදී තිබේ. මෙම වෙසක් සමය තුළ සියලුම පුරවැසියන්ට තම ආගමික වතාවත් නිදහසේ, සාමකාමීව මෙන්ම බියෙන් හා සැකෙන් තොරව ඇදහීමට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් වෙසක් සතිය පුරා විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන ඇත.
වෙසක් සමය තුළ සැදැහැවත් ජනතාව දිවයිනේ පිහිටි පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන වෙත විශාල වශයෙන් ඒකරාශී වීමත්, වෙසක් තොරණ්, පහන් කූඩු ප්‍රදර්ශන, බැති ගී සන්දර්ශන සහ දන්සල් ආදිය බහුලව සංවිධානය කිරීමත් හේතුවෙන් ආගමික ස්ථාන අවට ඇති විය හැකි රථවාහන තදබදය අවම කරගැනීම සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් මේ වන විටත් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත විශේෂ උපදෙස් මාලාවක් ලබාදී තිබේ.
මහජනතාවගේ සහ දේපළවල ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම වෙනුවෙන් සියලුම පොලිස් වසම් ආවරණය වන පරිදි දිවා, රාත්‍රී ජංගම සංචාර මෙන්ම පාමුර සංචාර (Foot patrols) වැඩි වශයෙන් ක්‍රියාත්මක කිරීමට පොලිසිය සැලසුම් කර ඇත. එමෙන්ම මෙම වෙසක් උත්සව සමයේ පූජනීයත්වයට හානිදායක වන ලෙස සහ ආගමික අවස්ථාවන්ට සහභාගි වන බැතිමතුන්ට පීඩාකාරි වන අයුරින් හැසිරෙන පුද්ගලයන් හෝ කණ්ඩායම් සම්බන්ධයෙන් පොලිසිය නිරන්තර අවධානයෙන් පසුවන අතර, ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බව ද ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කරයි.














