ඩිජිටල් මූල්‍ය සේවා සපයන ප්‍රකට Remitly ආයතනය විසින් 2026 වර්ෂය සඳහා ප්‍රකාශයට පත් කරන ලද නවතම ගෝලීය සංක්‍රමණ දර්ශකයට (Immigration Index) අනුව, පවුල් වශයෙන් පදිංචිය සඳහා ලොව වඩාත්ම සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාව මෙවර 4 වන ස්ථානය දිනාගෙන තිබේ. ලොව පුරා රටවල් 82ක් ආවරණය වන පරිදි, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය, දරුවන් රැකබලා ගැනීමේ පිරිවැය (Childcare costs), රාජ්‍ය ප්‍රවාහන පද්ධතියේ කාර්යක්ෂමතාව සහ දෙමාපියන් සඳහා ලබාදෙන නිවාඩු ප්‍රතිපත්ති ඇතුළු ප්‍රධාන සාධක 34ක් පදනම් කරගනිමින් මෙම පුළුල් පර්යේෂණය සිදුකර ඇත.
පසුගිය 2025 වසරේදී මෙම දර්ශකයට අනුව සහ Conde’ Nast Traveler සඟරාවේ වාර්තාවලට අනුව පවුල් සඳහා ලොව වඩාත්ම හිතකාමී රට ලෙස ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබූ අතර, මෙවර දර්ශකයේදී ලංකාව ස්ථාන 3ක් පසුපසට ගොස් තිබේ. මෙම වසරේ සමස්ත දර්ශකයේ පළමු ස්ථාන තුන පිළිවෙළින් ස්පාඤ්ඤය, චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් දිනාගෙන ඇති අතර, ස්පාඤ්ඤය ඉහළම ස්ථානයට පත්ව ඇත්තේ දරුවන් රැකබලා ගැනීමේ දැරිය හැකි පිරිවැය සහ දෙමාපියන් සඳහා ලබාදෙන පුළුල් නිවාඩු වරප්‍රසාද හේතුවෙනි. එමෙන්ම, චීනය අධ්‍යාපන යටිතල පහසුකම් සහ ජාත්‍යන්තර පාසල් ජාලය පුළුල් කිරීම නිසා දෙවන ස්ථානයටත්, ඇමරිකාව ජාත්‍යන්තර පාසල් තෝරා ගැනීමේ ඇති විවිධත්වය නිසා තෙවන ස්ථානයටත් පත්ව ඇත.
කෙසේ වුවද, ගෝලීය වශයෙන් රටවල් රැසක් අභිබවමින් ශ්‍රී ලංකාව තවමත් පවුල් හිතකාමී රටවල් අතර පළමු සිව්දෙනා අතර රැඳී සිටීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ දරුවන් රැකබලා ගැනීම සඳහා වැයවන සාපේක්ෂ අඩු පිරිවැය සහ මෙරට පවතින ආගන්තුක සත්කාරශීලී සමාජ වටපිටාවයි. මෙම දර්ශකය පිළිබඳ සම්පූර්ණ වාර්තාව සහ ගෝලීය ප්‍රතිඵල Remitly නිල වෙබ් අඩවිය හරහා මේ වන විට ප්‍රසිද්ධ කර තිබේ.














