නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය මඟින් අවට පරිසරයට සහ ජනජීවිතයට සිදුවන බලපෑම් පිළිබඳව සොයා බලා ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සහ නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් විශේෂ අනුකාරක සභාවක් පත් කිරීමට පියවර ගෙන තිබේ. පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මෙම පියවර ගෙන ඇති අතර, එහි සභාපතිත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතීඥ) භාග්‍ය ශ්‍රී හේරත් මහතා වෙත පවරා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. නොරොච්චෝලේ බලාගාරයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් සිදුවන පරිසර දූෂණය, ඒ සඳහා වගකිවයුතු පාර්ශ්වයන් සහ පවතින ආයතනික අඩුපාඩු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම අනුකාරක සභාව පත් කිරීමට නිලධාරීහු තීරණය කළහ. මේ සඳහා පරිසර, බලශක්ති, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ඇතුළු රජයේ ප්‍රධාන ආයතන කිහිපයක උසස් නිලධාරීහු ද එක්ව සිටියහ.
මීට අමතරව, ශ්‍රී ලංකාවේ පිහිටි ජර්මානු, ජපාන, චීන තානාපති කාර්යාල සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සමඟ සාකච්ඡා කර, එම රටවල බලාගාර ආශ්‍රිතව පරිසර හානිය අවම කිරීම සඳහා භාවිත කරන නවීන තාක්ෂණික ක්‍රමවේදයන් හඳුනාගැනීමට මෙරට නිලධාරීන්ට පුහුණු වැඩසටහන් ලබාදෙන ලෙස ඉල්ලීමක් කිරීමට ද මෙහිදී තීරණය වී ඇත.














