විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව, විශේෂ විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් එළඹෙන ජුනි මස 26 වැනිදා පැවැත්වීමට රජය සැලසුම් කර තිබේ. මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහ නීති විරෝධී ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය යෙදෙන ජුනි 26 වැනිදාට සමගාමීව මෙම සමුළුව පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිවේදනය කරයි. මෙහි මූලික සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇත.
මෙම සමුළුවේ මූලිකම අරමුණ වන්නේ විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් මෙරට තරුණ පරපුර මුදාගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව තරුණ ප්‍රජාවගේ උපරිම විරෝධය ප්‍රකාශ කිරීම සඳහා ග්‍රාමීය මට්ටමින් තරුණයින් ඒකරාශී කිරීමයි. ජාතික තරුණ සේවා සභාව (NYSC) සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම සමුළුව සංවිධානය කිරීමට නියමිතය.
නවතම සමීක්ෂණ වාර්තාවලට අනුව, විෂ මත්ද්‍රව්‍ය උවදුර හේතුවෙන් මෙරට තරුණ පරපුර විශාල වශයෙන් සමාජ, ආර්ථික සහ සෞඛ්‍යමය බිඳවැටීම්වලට ලක්ව ඇති අතර, මීට බහුලවම ගොදුරු වී ඇත්තේ වයස අවුරුදු 20ත් 35ත් අතර (20-35) පසුවන රටේ සක්‍රීය ශ්‍රම බලකායයි. මෙය සමස්ත රටේ ශ්‍රම ඵලදායීතාවට මෙන්ම ආර්ථිකයට ද දැඩි බලපෑමක් එල්ල කරන බැවින්, තරුණ පරපුර ඉන් ගලවා ගැනීම සඳහා රජයේ ප්‍රධාන මෙහෙයුමක් ලෙස මෙම “රටම එකට” වැඩසටහන ක්‍රියාවට නංවන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.














