ආර්ජන්ටිනාවේ ප්‍රධානතම කෘෂිකාර්මික අපනයන ජල මාර්ගය වන පරානා නදිය (Parana River) කැණීම සහ වසර 25ක් පුරා එහි මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා වන ඇමරිකානු ඩොලර් බිලියන 10ක (investment worth $10 billion) දැවැන්ත ව්‍යාපෘති කොන්ත්‍රාත්තුවක් පිටුපස චීනයේ අනිසි සහ අහිතකර බලපෑම් (Chinese malign influence) පවතින බවට ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු පිළිබඳ කාරක සභාවේ සභාපති බ්‍රයන් මාස්ට් මහතා (Brian Mast) අනතුරු අඟවයි. ඔහු විසින් ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මහතා (Marco Rubio) වෙත යොමු කරන ලද රහසිගත ලිපියක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මේ බව අනාවරණය කර තිබේ.
මෙම ටෙන්ඩරයේ මූලික කොන්දේසිවලට අනුව කිසිදු රාජ්‍ය සතු සමාගමකට (State-owned companies) මීට ලංසු තැබිය නොහැකි බැවින් චීන රජයේ සමාගම්වලට අවස්ථාව අහිමි විය. එහෙත් චීනය පුද්ගලික අංශයේ අතරමැදි සමාගමක් (Private sector proxy) හරහා මෙම කොන්ත්‍රාත්තුව ලබාගැනීමට උත්සාහ කරන බවට බ්‍රයන් මාස්ට් චෝදනා කරයි. දැනට මෙම ටෙන්ඩර් ලංසු තැබීමේ ලකුණු ක්‍රමයට අනුව පෙරමුණේ පසුවන්නේ වසර ගණනාවක සිට මෙම ජල මාර්ගය කළමනාකරණය කරන බෙල්ජියමේ ‘ජැන් ඩි නුල්’ (Jan De Nul) සමාගමයි. මෙම සමාගම සමඟ හවුල්කාරීත්වයෙන් කටයුතු කරන ආර්ජන්ටිනාවේ ‘සර්විමැග්නස්’ (Servimagnus) සමාගම හරහා චීන රජයට අයත් සමාගම් සමඟ සමීප සහ සෘජු සබඳතා පවතින බවට ඇමරිකාව සැක පළකරයි.
දැනට අවසන් අදියරේ පවතින මෙම ටෙන්ඩරය සඳහා ඇමරිකාවේ ‘ග්‍රේට් ලේක්ස් ඩ්‍රෙජ් ඇන්ඩ් ඩොක්’ (Great Lakes Dredge & Dock Corp) සහ KKR ආයෝජන සමාගම ඇතුළත් ‘ඩෙමේ ගෲප්’ (Deme Group) ද තරඟ වදින අතර, ඉදිරි දින කිහිපය තුළ මෙහි අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.














