ලොව සුප්‍රකට විද්‍යුත් මෝටර් රථ (EV) නිෂ්පාදකයා වන ටෙස්ලා සමාගම, සිය වඩාත්ම දියුණු රියදුරු සහායක පද්ධතිය වන ‘Full Self-Driving (Supervised)’ හෙවත් FSD තාක්ෂණය චීන වෙළඳපොළට නිල වශයෙන් හඳුන්වා දෙන බව තහවුරු කර ඇතත්, එය සැබවින්ම පාරිභෝගිකයින් වෙත මුදාහරින්නේ (Rollout) කවදාද යන්න මෙතෙක් ප්‍රකාශ කර නොමැත. මැයි 21 වැනිදා (අද) විදේශීය මාධ්‍ය වාර්තා කර සිටියේ ටෙස්ලා සමාගම සිය X (ට්විටර්) ගිණුම හරහා මෙම සේවාව චීනය තුළ පවතින බව නිවේදනය කර තිබුණ ද, චීනයේ වෙසෙන බොහෝ ටෙස්ලා රථ හිමියන් සිය වාහනවල මෙම විශේෂාංගය තවමත් සක්‍රීය වී නොමැති බව පවසන බවයි.
චීන රජයේ දැඩි නියාමන සහ දත්ත ආරක්ෂණ ක්‍රමවේද හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වී තිබූ මෙම FSD බලපත්‍රය ලබාගැනීමට ටෙස්ලා සමාගම සමත්ව ඇති බව මින් පැහැදිලි වන නමුත්, වාණිජමය වශයෙන් එය භාවිතයට දෙන නිශ්චිත කාලසටහනක් මෙතෙක් ප්‍රකාශ වී නොමැත. චීන වෙළඳපොළ තුළ මෙම FSD පැකේජය ඇමරිකානු ඩොලර් 9,400ක එක් වරක් පමණක් සිදුකරන ගෙවීමක් (One-time purchase) ලෙස අලෙවි කිරීමට නියමිතය. දැනට ඇමරිකාව, කැනඩාව, මෙක්සිකෝව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල මෙම පද්ධතිය ක්‍රියාත්මක වන අතර, යුරෝපා කලාපයෙන් නෙදර්ලන්තය සහ ලිතුවේනියාව මීට මෑතකදී අනුමැතිය ලබා දී තිබේ.
මේ අතර, දකුණු කොරියාව තුළ ද ටෙස්ලා FSD පද්ධතිය ක්‍රියාත්මක වුවද, එය මේ වන විට ලබා දී ඇත්තේ ඇමරිකාවේ නිෂ්පාදනය කර ආනයනය කරනු ලබන Model S සහ Model X යන සුඛෝපභෝගී රථ මාදිලි සඳහා පමණි. දකුණු කොරියානු වෙළඳපොළේ බහුලවම අලෙවි වන, චීනයේ ෂැංහයි (Giga Shanghai) කර්මාන්තශාලාවෙන් ආනයනය කරනු ලබන Model 3 සහ Model Y යන රථ මාදිලි සඳහා මෙම FSD ස්වයංක්‍රීය ධාවන විශේෂාංගය තවදුරටත් සීමා කර තිබීම එරට ආයෝජකයින්ගේ සහ පාරිභෝගිකයින්ගේ දැඩි අවධානයට ලක්ව ඇත.















