එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘බරකා’ (Barakah) න්‍යෂ්ටික බලාගාරයට එල්ල වූ බව කියන ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ. මෙවැනි න්‍යෂ්ටික පහසුකම්වලට සිදුවන ඕනෑම හානියක් සමස්ත කලාපයේම සිවිල් වැසියන්ට බරපතළ අවදානමක් විය හැකි බව ශ්‍රී ලංකාව අනතුරු අඟවයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මෙම කලාපය ශ්‍රී ලාංකිකයන් ඇතුළු විශාල විදෙස්ගත ප්‍රජාවක් ජීවත් වන ප්‍රදේශයක් බැවින් මෙවැනි සිදුවීම් අතිශය කනස්සල්ලට කරුණක් බවයි. න්‍යෂ්ටික පහසුකම්වලට එල්ල වන ඕනෑම තර්ජනයක් සිවිල් ජනතාවට සහ කලාපීය ස්ථාවරත්වයට දිගුකාලීන බරපතළ ප්‍රතිවිපාක ඇති කළ හැකි බව විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.
කලාපයේ උග්‍රවන අස්ථාවරත්වය සහ එය කලාපීය ආරක්ෂාවට බලපාන ආකාරය පිළිබඳව ලෝකය දැඩි අවධානයෙන් සිටින පසුබිමක, මෙම සිදුවීම වාර්තා වී ඇත. ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ උපරිම සංයමයෙන් කටයුතු කරන ලෙසත්, උත්සන්න වන ආතතීන් මධ්‍යයේ සාකච්ඡා මාර්ගයෙන් සහ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම්වලට ප්‍රමුඛතාව ලබා දෙන ලෙසත්ය.














