මෙරට ආයෝජන වෘත්තිය සහ මූල්‍ය සේවා කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් වසර 25ක් පුරා සිදුකළ විශිෂ්ට දායකත්වය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමය (CFA Society Sri Lanka) සිය රිදී ජුබිලි සංවත්සරය පසුගියදා කොළඹ කොටස් හුවමාරු (CSE) ගනුදෙනු බිමේදී උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය. මෙම සුවිශේෂී සන්ධිස්ථානය සනිටුහන් කරමින් වෙළඳපොළ ආරම්භක සීනුව නාද කිරීම සහ තැපැල්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදු කෙරුණි.
ලෝක ව්‍යාප්ත CFA ආයතනයේ සාමාජික සංගම් ජාලයකට අයත් ශ්‍රී ලංකා වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමය 2001 වසරේදී පිහිටුවන ලද්දකි. වර්තමානය වන විට ප්‍රධාන විධායක නිලධාරීන්, ප්‍රධාන මූල්‍ය නිලධාරීන්, ආයෝජන කළමනාකරුවන් සහ බැංකු ක්ෂේත්‍රයේ වෘත්තිකයන් ඇතුළු CFA සුදුසුකම්ලාභීන් 250කට අධික පිරිසක් මෙහි සාමාජිකත්වය දරන අතර, මෙම පාඨමාලාව හදාරන සිසුන් 500කට ආසන්න සංඛ්‍යාවකට සංගමයේ සහාය හිමිවේ. මීට අමතරව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව සමඟ එක්ව මෙරට රාජ්‍ය භාෂා ත්‍රිත්වයෙන්ම පවත්වනු ලබන මූල්‍ය සාක්ෂරතා වැඩසටහන්, ප්‍රාග්ධන වෙළඳපොළ සම්මාන උළෙල සහ තිරසාර මූල්‍යකරණය පිළිබඳ වැඩමුළු පැවැත්වීම ද සංගමය හරහා අඛණ්ඩව සිදුවේ.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමයේ සභාපති රශ්මි පීරිස් පරණවිතාන මහත්මිය කියා සිටියේ, මෙම රිදී ජුබිලි සැමරුම පසුගිය දශක දෙකක කාලය තුළ මෙරට ආයෝජන වෘත්තිය අත්කරගත් ප්‍රගතිය පිළිඹිබු කරන බවයි. වෘත්තීය සදාචාරාත්මක ප්‍රමිතීන් ආරක්ෂා කරමින් විනිවිදභාවයෙන් යුතු, ශක්තිමත් ප්‍රාග්ධන වෙළඳපොළක් ගොඩනැගීමට සංගමය නිරන්තරයෙන් කැපවන බව ඇය අවධාරණය කළාය. සංගමයේ අඛණ්ඩ වසර 8ක ප්ලැටිනම් හවුල්කරු ලෙස කටයුතු කරන කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දිමුත් අබේසේකර මහතා ද මීට සුභාශිංසන එක් කරමින් කියා සිටියේ, පසුගිය වසර 25 පුරා මෙරට මූල්‍ය සේවා කර්මාන්තය තුළ වෘත්තීයභාවය සහ ආයෝජන දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා CFA සංගමය සුවිශේෂී ජාතික කාර්යභාරයක් ඉටු කර ඇති බවයි.















