ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (Extended Fund Facility) යටතේ ශ්‍රී ලංකාවට අදාළ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන (5th and 6th Joint Reviews) එළැඹෙන සතියේ බදාදා දින සලකා බැලීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (22) නිල වශයෙන් නිවේදනය කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අඛණ්ඩව හා සාර්ථකව ක්‍රියාත්මක වන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් IMF මෙහෙයුම් ප්‍රධානී එවන් පැපාජෝජියෝ මහතා ප්‍රකාශ කළේය. පසුගිය වසර කිහිපය තුළ මෙරට බලධාරීන් විසින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය (Macroeconomic Stability) යථා තත්ත්වයට පත්කිරීම, විදේශ සංචිත නැවත ගොඩනැගීම සහ ආර්ථිකය පිළිබඳ විශ්වාසය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය. මෙම කැපවීම් ආයෝජකයින් සහ මහජනතාව විසින් ද හඳුනාගෙන ඇති අතර, එය ආර්ථිකය ශක්තිමත් පදනමක් කරා ගෙන යාමට උපකාරී වී ඇති බව ද ඔහු සඳහන් කළේය.
කෙසේ වුවද, අභියෝගාත්මක බාහිර පරිසරයක් සහ මෑතකාලීන ගෝලීය ආර්ථික වර්ධනයන් හේතුවෙන් බොහෝ ආර්ථිකයන්ට නව පීඩන එල්ලවී ඇති අතර, එය ශ්‍රී ලංකාවට ද සරල තත්ත්වයක් නොවන බව හෙතෙම අවධාරණය කළේය. එසේ වුවද, ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති රාමුව අතීතයට වඩා සැලකිය යුතු ලෙස ශක්තිමත් වී ඇති බැවින්, ස්ථාවර ප්‍රතිපත්ති මාර්ගයක් පවත්වාගෙන යාමෙන් මෙතෙක් ලබාගත් ප්‍රගතිය රැකගත හැකි බව පැපාජෝජියෝ මහතා පැවසීය. මෙරට ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ පවතින සමීප සම්බන්ධතාවය අඛණ්ඩව පවත්වාගෙන යන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.















