10 වන Huawei ICT තරඟයේ ආසියානු ශාන්තිකර කලාපීය අවසන් මහා තරඟය සහ සම්මාන උළෙල පසුගියදා ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර පිහිටි ASEAN මූලස්ථානයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. Huawei සමාගම සහ ASEAN පදනම එක්ව සංවිධානය කළ මෙම තරඟාවලිය සඳහා කලාපයේ රටවල් 14ක් නියෝජනය කරමින් සිසුන් 8,600 කට අධික පිරිසක් එක්ව සිටි අතර ඉන් රටවල් 13ක දක්ෂතම සිසුන් 160කට වැඩි පිරිසක් අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා සිටියහ.
මෙම සම්මාන උළෙල සඳහා ASEAN හි මහ ලේකම් ආචාර්ය Kao Kim Hourn මහතා ඇතුළු කලාපීය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් රැසක් සහභාගී වූහ. එහිදී පැවැත්වුණු තරඟ අංශ අතුරින් Innovation අංශයේ ජයග්‍රහණය සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය විසින් දිනාගත් අතර Computing සහ Cloud අංශයන්හි ඉහළම සම්මාන වියට්නාම තැපැල් හා විදුලි සංදේශ ආයතන කණ්ඩායමට හිමි විය. එමෙන්ම Network Track අංශයේ ප්‍රථම ස්ථානය පිලිපීනයේ බුලකාන් රාජ්‍ය විශ්වවිද්‍යාල කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. මීට අමතරව මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය ඇතුළු රටවල් රැසක කණ්ඩායම්ද මෙහිදී ඇගයීමට ලක් වූ අතර මෙලෙස තේරී පත් වූ විශිෂ්ටතම කණ්ඩායම් 16 එළඹෙන ජූනි මාසයේදී චීනයේ Shenzhen නුවර පැවැත්වීමට නියමිත ලෝක අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ගෙන තිබේ.
මෙම සම්මාන උත්සවයට සමගාමීව කෘතිම බුද්ධිය (AI) සහ නව්‍ය තාක්ෂණය හේතුවෙන් ක්ෂේත්‍රය තුළ නිර්මාණය වන අලුත් රැකියා ප්‍රවණතා පිළිබඳව ලියවුණු ‘ICT Job Roles and Skills in the Intelligent World’ ධවල පත්‍රිකාවද ජාත්‍යන්තරව එළිදැක්වීම සිදුවිය. Huawei ආයතනය පෙන්වා දෙන්නේ පසුගිය වසර 9 තුළ ආසියානු ශාන්තිකර කලාපයේ තම පුහුණු ඇකඩමි ජාලය ආයතන 500ක් දක්වා පුළුල් කරමින් සිසුන් 160,000කට අධික පිරිසකට ඩිජිටල් තාක්ෂණික පුහුණුව ලබා දී ඇති බවයි. එලෙසම කලාපය පුරා කෘතිම බුද්ධි දක්ෂතා වර්ධනය කිරීම සහ තරුණ පිරිස් බලගැන්වීම වෙනුවෙන් ASEAN පදනම සහ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය සමඟ එක්ව නව කලාපීය සහයෝගිතා වැඩපිළිවෙලක් ද මෙහිදී ආරම්භ කෙරුණි.














