දිවයින පුරා පවතින ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් හලාවත මහ රෝහල් පරිශ්‍රයට ගංවතුර ජලය ගලා වැදීමෙන් එහි වාට්ටු 3ක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබේ. පවතින අසීරු තත්ත්වය හමුවේ එම වාට්ටුවල ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන්ගේ ආරක්ෂාව උදෙසා ඔවුන් වහාම වෙනත් සුදුසු වාට්ටු වෙත යොමු කිරීමට රෝහල් බලධාරීන් පියවර ගත් බව හලාවත රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය දිනේෂ් කොග්ගල මහතා සනාථ කළේය.
මේ අතර ඊයේ රාත්‍රියේ සිට පුත්තලම දිස්ත්‍රික්කයට ඇද හැලෙන දැඩි මෝසම් වැසි හේතුවෙන් ප්‍රදේශයේ ප්‍රධාන සහ අනුමාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර ස්ථාන කිහිපයකදීම මාර්ගවලට ගස් කඩා වැටීම් ද වාර්තා වේ. විශේෂයෙන්ම පුත්තලම, මාදම්පේ – ගලහිටියාව ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ. මාර්ගයට වැටී ඇති ගස ඉවත් කර ගමනාගමනය යථා තත්ත්වයට පත් කරන තෙක් එම මාර්ගය පරිහරණය කරන සියලුම රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස මාදම්පේ පොලිසිය හදිසි දැනුම්දීමක් කරයි.














