දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික මෝසම් වර්ෂාපතනය හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ඇතුළු තදාසන්න ප්‍රදේශවල ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවීම නිසා වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ. කැලණි ගඟ ද්‍රෝණියට අයත් ඉහළ ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් අවිස්සාවේල්ලේ සිට හංවැල්ල දක්වා වූ පහත්බිම් රැසක් මේ වන විට ජලයෙන් යටවී ඇති අතර, කොළඹ – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ පුවක්පිටිය තුම්මෝදර හන්දිය, සීතාවක උද්භිද උද්‍යානය අසල සහ යටියන්තොට ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම නිසා එම මාර්ගයේ ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බව වාර්තා වේ.
මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ ද මාර්ග රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ. උඩුපිල ප්‍රදේශය ජලයෙන් යටවීම නිසා දෙල්ගොඩ – බෙලුම්මහර මාර්ගයේ ගමනාගමනයට බාධා පැමිණ ඇති අතර, ගම්පහ – මිරිස්වත්ත ප්‍රධාන මාර්ගය ද ඇතැම් ස්ථානවලින් ජලයෙන් යටවීම නිසා වාහන ධාවනය අත්හිටුවා ඇත. එමෙන්ම දිවුලපිටිය – මීරිගම මාර්ගයේ උල්ලලපිටිය ප්‍රදේශය ද ගංවතුර තත්ත්වයට පත්වීම හේතුවෙන් එම මාර්ගයේ සැහැල්ලු වාහන ධාවනය කිරීම මේ වන විට ඉතා දුෂ්කර වී ඇති බව පොලිසිය පවසයි. මෙම මාර්ග භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසත්, ආපදා තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් ආරක්ෂක අංශ දැනුම් දෙයි.














