මැලේසියානු තරුණ හා බාලවයස්කාර පිරිස් අන්තර්ජාලය ඔස්සේ මුහුණ දෙන අවදානම් සහ අහිතකර බලපෑම් අවම කිරීම සඳහා ලබන ජූනි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව නීති මාලාවක් හඳුන්වා දීමට එරට සන්නිවේදන නියාමන ආයතනය තීරණය කර ඇත. වයස අවුරුදු 16ට අඩු දරුවන් සමාජ මාධ්‍ය ගිණුම් ලියාපදිංචි කිරීම සහ හිමිකාරීත්වය දැරීම සීමා කිරීම මෙන්ම අසත්‍ය තොරතුරු සහ අහිතකර අන්තර්ගතයන් පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙම පියවර මඟින් ළමයින්ගේ වයසට ගැළපෙන ආරක්ෂාවක් සැපයීමට සහ ඉහළ අවදානමක් සහිත අන්තර්ජාල සේවා භාවිතයන් සීමා කිරීමට බලාපොරොත්තු වන බව කොමිෂන් සභාව පවසයි. පසුගිය වසර කිහිපය තුළ අන්තර්ජාලය හරහා සිදුවන හානිකර ක්‍රියාකාරකම්වල සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබීම හේතුවෙන් මැලේසියානු රජය මෙම දැඩි තීරණවලට එළඹ තිබේ.
නව නීති මාලාවට අනුව අන්තර්ජාල සේවා සපයන සහ සමාජ මාධ්‍ය ආයතන විසින් ඵලදායී වාර්තාකරණ සහ ප්‍රතිචාර දැක්වීමේ පද්ධති පවත්වාගෙන යාම, වෙළඳ දැන්වීම් පළ කරන්නන් සත්‍යාපනය කිරීමේ පියවර ගැනීම මෙන්ම කෘත්‍රිමව වෙනස් කරන ලද හෝ ව්‍යාජ ලෙස සකස් කරන ලද දෘශ්‍ය අන්තර්ගතයන් නිසි පරිදි හඳුනාගෙන ලේබල් කිරීම අනිවාර්ය කර තිබේ.














